නූපන් දියණිය

ගබ්සාව පදනම් කර ගනිමින් ඉදිරිපත් කරනු ලබන මෙම ලිපි පෙළ කිසිවකු අරමුණු කර ගනිමින් හෝ කිසිවකුගේ අත්දැකීමක් මුල්කර ගනිමින් නිර්මාණය කරන ලද්දක් නොවන අතර කොරෝනා සුව විරාම කාලයේදී මා විසින් නරඹන ලද ‘ දියා’ නම් දමිළ චිත්‍රපටය හරහා මනසට ලැබුණු විචාරාත්මක කරුණු හා කියවීමෙන් ලද දැනුම, සාමාන්‍ය පොදු දැනුම සමඟ එක් කොට නිර්මාණශීලීව හුදෙක්ම සමාජ ආදර්ශයන් පමණක්ම ගෙන ඒමේ අරමුණු සහිතව කරන ලද යහපත් ප්‍රයත්නයකි.

ලිපි පෙළ පහත මාතෘකා සමඟ සබැදේ…

  • ‘දියා’ දමිල චිත්‍රපටය
  • ගබ්සාව, ගබ්සා වර්ග, ක්‍රම සහ නීති
  • ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ ගබ්සා දත්ත
  • ගබ්සා වළක්වා ගැනීම සහ පිටු දැකීම
  • ගබ්සාව සම්බන්ධව බෞද්ධාගමික දර්ශනය

‘දියා’ දමිල චිත්‍රපටය

” අවුරුදු 19 ත් 20 ත් අතර වයස් කාණ්ඩවල හිටපු තුල්සි සහ ක්‍රිෂ්ණා යන තරුණ යුවලගේ යොවුන් ආදරෙයේ ප්‍රතිඵලයක් ලෙස තුල්සි හදිසියේම ගැබ් ගනි. මේ පිළිබඳව මුලින්ම දැන ගන්නේ තුල්සිගේ පවුලේ වෛද්‍යවරිය වන අතර ඇයගේ උපදේශයන් මත තුල්සිගේ සහ ක්‍රිෂ්ණාගේ පවුලේ සාමාජිකයන් ගෙන්වා තුල්සිගේ කුස තුල වැඩෙන නූපන් කලලය පිළිබඳව අවසන් තීරණයකට එළඹෙනවා.

එහි දී තුල්සිගේ මව, මාමා, ක්‍රිෂ්ණාගේ පියා සහ පවුලේ වෛද්‍යවරියගේ අවසාන තීරණය වන්නේ දරු ගැබ විනාශ කිරීමයි. ක්‍රිෂ්ණා මෙම තීරණයට මුලදී අකමැති උනත්, දෙදෙනාගේම අනාගත ජීවිතය ගැන සිතා බලා, දරු ගැබ විනාශ කිරීම පිළිබඳ කණස්සල්ලෙන් පසුවන තුල්සිගේ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටින්නේ තමා ද එම තීරණයට එකඟ වන බවයි.

තමන්ගේ කුස තුල වැඩෙන කුළුදුල් දරුවා ගැන අප්‍රමාණ වූ ආදරයකින් පෙළෙන තුල්සි කෙතරම් මෙම තීරණයට අකැමැති වුණත්, ඇගේ ඇස් වසා දමමින් පවුලේ වෛද්‍යවරිය විසින් පවුලේ අයගේ සහ ක්‍රිෂ්ණාගේ අනුදැනුම ඇතිව ගබ්සාවන් සිදු කිරීමට සමත් රසායනික ද්‍රව්‍යයක් සේලයින් සමඟ මුසු කොට තුල්සිට ලබා දෙයි.


මෙම දුක්ඛිත සිදුවීම් මාලාවෙන් අනතුරුව වැඩිහිටියන්ගෙ උපදේශයන් අනුව තුල්සි සහ ක්‍රිෂ්ණා තම තමන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන අතර වසර පහක් යනතුරු දෙදෙනාටම හමුවීම් සහ කතා බස් කිරීම් වැඩිහිටියන් විසින් සම්පූර්ණයෙන් තහනම් කරයි.

විනාශ වී ගිය නූපන් දරුවා, දියණියකි යයි සිතා ඇයට ‘දියා’ අනමින් අන්වර්ථ නාමයකුත් දමාගත් තුල්සි ගෙවුණු අවුරුදු පහම තමන්ගේ නැති වුනු දියණිය දියා වෙනුවෙන් සිතින් ලතවුණු, සිතින් මතක් කළ වාර ගණන අනන්තයි, අප්‍රමාණයි. ලද අධ්‍යාපනයේ ප්‍රතිඵල ලෙස තුල්සි වෛද්‍යවරියක ලෙසත් ක්‍රිෂ්ණා ඉංජිනේරුවරයකු ලෙසත් වෘත්තිමය ජීවිතවලට එළඹෙන අතර ඔවුන්ගේ විවාහය ද සිදු වෙයි.

ඔවුන්ගේ විවාහයෙන් අනතුරුව පිළිවෙලින් ක්‍රිෂ්ණාගේ පියා, තුල්සිගේ මව, පවුලේ වෛද්‍යවරිය සහ තුල්සිගේ මාමා සතියක් වැනි කෙටි කාලයක් ඇතුළත අබිරහස් ලෙස මියයන අතර එම මරණයන් සියදිවි හානිකර ගැනීම් ද අනතුරු නිසා සිදු වූ මරණ ද, එසේ නොමැති නම් ස්වාභාවික මරණ ද යන්න පොලීසිය පවා මවිත කරවයි. නමුත් තුල්සි තුළ පවතින නූපන් දියාගේ ආත්මය ජීවත් වීම මෙම මරණවලට හේතුවන බව තුල්සිට තේරුම් ගියත් ක්‍රිෂ්ණා මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇයව රැගෙන යයි.

නමුත්, මෙලොව එළිය දැකීමටත් ප්‍රථමව කලලයක් වී සිටි අවධියේ තමාව තමන්ට දැඩි සේ ආදරය කරන මවගෙන් වෙන් කිරීම පිළිබඳව හිතේ හටගත් අසීමිත වෛරයෙන් පෙළෙන මියගිය නූපන් පුංචි දියණිය දියා, තම මරණයට වගකිව යුතු සියලු දෙනාම බාහිරට අනතුරු ලෙස පෙනෙන පරිදි කුරිරු ලෙස ඝාතනය කරන අතර ඇයගේ මීළඟ ගොදුර වන්නේ තමාගේම පියා වන ක්‍රිෂ්ණායි. “

Thriller, Horror යන කාණ්ඩ නියෝජනය කරමින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටිය මුලින් නම් කරලා තිබුනේ Karu කියන නමින්. ඒත්, හිටි හැටියෙම චිත්‍රපටයේ නම Diya කියලා වෙනස් කළා. ඒ වගේම, මේ චිත්‍රපටය තෙලිඟු භාෂාවෙන් පවා සමගාමීව නිර්මාණය කරලා තියෙනවා Kanam කියන නමින්. තව දෙයක්, Horror කැටගරියේ චිත්‍රපටයක් කිව්වම ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ හොල්මන් ඉන්න චිත්‍රපටය.

මේකට හේතුව, වර්තමානයේ බිහිවෙන බොහොමයක් Horror චිත්‍රපට වලට පාදක වෙන්නේ හොල්මන් සහිත කතා. මේ නිසාම ප්‍රේක්ෂකයා වැරදි වැටහීමක් අරගෙන තියෙනවා, Horror චිත්‍රපටයක් නම් අනිවාර්‍යයෙන්ම හොල්මන් තියෙන්න ඕනේ කියලා. හැබැයි, Horror චිත්‍රපටයක් කියන එකේ නියම අර්ථය තමයි, ත්‍රාසය/භීතිය/තැතිගැන්ම සහිත නිර්මාණයක් කියන එක. විශේෂයෙන් මෙහෙම කියන්න හේතුව තමයි, මේකත් Horror චිත්‍රපටයක්. හැබැයි, සාම්ප්‍රදායික Horror කලාවෙන් ඈත්වෙලා, අලුත් මානයක් වෙත දොරටු විවර කරන්න උත්සාහ දරපු නිර්මාණයක්.

  • අධ්‍යක්ෂණය – ඒ. එල්. විජේ
  • නිෂ්පාදනය – අලිරාජා සුබස්කරන්
  • පිටපත – ඒ. එල්. විජේ, අජයන් බාලා
  • රංගනය – සායි පල්ලවි, වෙරෝනිකා අරෝරා, නාග ශූර්යා
  • සංගීතය – සෑම් සී.එස්
  • ඡායාරූපකරණය – නිරව් ෂා
  • සංස්කරණය – ඇන්තනි
  • නිෂ්පාදන සමාගම – ලයිකා ප්‍රඩක්ෂන්ස්
  • බෙදාහරින්නේ – නවීන්
  • නිකුත් කල දිනය – 27 අප්‍රේල් 2018
  • චිත්‍රපට කාලය – විනාඩි 97 යි
  • රට – ඉන්දියාව
  • භාෂාව – දමිල , තෙළිඟු

මෙම චිත්‍රපටය සෑදීමේ මූලික අරමුණ වී ඇත්තේ වත්මන් ඉන්දියාව තුළ ඉහළ යමින් පවතින නූපන් දරු මරණ සංඛ්‍යාවයි. සංඛ්‍යාත්මකව ගත් කල එය වසරකට මිලියන හතක් එනම් දිනකට දහ නව දාහකට වඩා වැඩි ගණනකි. එයිනුත් සියයට පනස් හයක් අනාරක්ෂිත ගබ්සාවන් වෙයි. ඉදිරි ලිපි වල සඳහන් පරිදි ගබ්සාවන් සඳහා විවිධ හේතු බලපාන අතර අවාසනාත්මක කරුණ වන්නේ වැඩි වශයෙන් සිදු කෙරෙන්නේ නීති විරෝධී ගබ්සාවන් වීමයි.

මෙම චිත්‍රපටයේ පරිදි තුල්සි හා ක්‍රිශ්නා තම යොවුන් ආදරය පමණ ඉක්මවා භාවිතා කර අඩු වයසින්ම මෙබඳු ගැටලුවක් නිර්මාණය කර ගෙන ඇත. මෙයද ලොව තුල පවතින දරුණු ගණයේ ගැටලුවක් වන අතර මේ සඳහා විවිධ කරුණු බලපායි. ලිංගික අධ්‍යාපනයේ හිඟකම, පමණ ඉක්මවා සිතිවිලි ක්‍රියාත්මක වීම, ආගම දහම තුළින් දුරස් වීම සහ මානසික ආතතිය මේ සඳහා මූලිකවම හේතු වෙයි. ඇමරිකාව යුරෝපය හා රුසියාව වැනි බටහිර රටවල් මේ වන විට මෙය පාලනය කිරීමේ අගය ඉක්මවා ගොස් ඇති අතර ආසියාව හා මැදපෙරදිග රටවල් ක්‍රම ක්‍රමයෙන් මෙයට යොමු වෙයි. ඒ අතර ඉන්දියාවට හිමි වන්නේ ඉතාම ඉහළ ඉහල ස්ථානයකි.

මීලඟට මෙම චිත්‍රපටයේ ගෙනහැර දක්වන ප්‍රධාන කරුණක් වන්නේ, තුල්සි තුළ දියා වෙනුවෙන් පවතින අප්‍රමාණ වූ ආදරයයි. පවුලේ සෑම දෙනාම එකතු වී (ක්‍රිෂ්ණා ද ඇතුළුව) නූපන් දරුවා විනාශ කිරීම සඳහා කටයුතු කළ ද තුල්සි ඇය ගැබ් ගත් පණිවිඩය කන වැදුණු මොහොතේ පටන් තම දරුවා කෙරෙහි ඇති වූ අප්‍රමාණ සෙනෙහෙන් දරු ගැබ විනාශ කිරීමට වැඩිහිටියන් ගත් තීරණයට දැඩිවම විරුද්ධ වෙයි. ඇය ක්‍රිෂ්ණා ඉදිරියෙත් හඬා වැලපෙමින් පවසන්නේ ‘මේ අපේ දරුවා, ඇයි අපි මෙයාව විනාශ කරන්නේ?’ යනුවෙනුයි. චිත්‍රපටයේ සේම සැබෑ ජීවිතයේ ද මෙවැනි අවස්ථා තුළ මවගේ දැඩි අකමැත්තෙන් යුතුව, පවුලේ හෝ දරුවාගේ පියාගේ හෝ වෙනත් අයෙකුගේ බලපෑම් මත නීතිමය හෝ නීති විරෝධී ප්‍රේරිත ගබ්සා කිරීම් සඳහා බොහෝ අය යොමු වෙයි.

නූපන් දියණිය දියාගේ ආත්මය, ඇගේ මරණයට වගකිවයුතු සියලු දෙනාම සාහසික ලෙස මරණයට පත් කිරීම තුළ අපට වටහාගත හැකි දේ වන්නේ, සංඛ්‍යාත්මක අගය ඉහළ නංවමින් ඉන්දියාව තුළ හා ලෝකය තුළ පවතින ගබ්සා කිරීම් අවම කිරීම උදෙසා නිර්මාණාත්මක ආදර්ශයක් සහ සිත් තැති ගැන්වීමක් කිරීමට අධ්‍යක්ෂක වරයා විසින් දරනු ලබන ප්‍රයත්නයයි.

කෙසේ වෙතත්, චිත්‍රපටයෙහි එන පුංචි දියණිය ‘දියා’ මෙලොව එළිය දුටුවා නම්, නිසැකවම ඇය මීළඟ ඉන්දිරා ගාන්ධි, කල්පනා චව්ලා හෝ සනියා මයිර්සා වන්නට ඉඩ ඇත. එලෙසම මෙලොව එළිය දැකීමට ප්‍රථමව කුස තුලම මිය යන සෑම නූපන් දරුවෙකුටම මෙලොව එළිය දැකීමේ අයිතියක් ඇතුවා සේම ඔවුනුත් අප සේම මෙම ලෝකය ගොඩනැගීම උදෙසා දායක වීම නොඅනුමානය.

  • දියා දමිළ චිත්‍රපටයේ යූටියුබ් ලිඟුව – https://youtu.be/k29dfzGNed8
  • මීළඟ ලිපිය – ගබ්සාව, ගබ්සා වර්ග, ක්‍රම සහ නීති.

රචනය – විභූති රක්ෂිතා. (_විභූ_)

1 thought on “නූපන් දියණිය”

  1. “” ප්‍රේමයේ වින්දනීය සුවය සොයන විවාහක අවිවාහක කොයි කවුරුත් අනිවාර්යෙන් කියවිය යුතු වසරකට මිනිස් ජීවිත මිලියන 40-50 ත් අතර ප්‍රමාණයක් ලොවට අහිමි කරන ප්‍රේරිත ගබ්සාවේ සමාජීය කතිකාවත ‘නූපන් දියණිය’ The Article Team ඔබ වෙත ගෙන එයි “”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *