බේරූට් පිපිරුමේ නවතම තතු.

ඊයේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් දැනට 135 ක් මිය ගොස් 5,000 කට වැඩි පිරිසක් තුවාල ලබා දහස් ගණනක් අතුරුදන් වී ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍ය හමාඩ් හසන් පැවසයි. දිවි ගලවා ගත් අය සෙවීම සඳහා සහන සේවකයින් සුන්බුන් අතර කැණීම් සිදුකරන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු තවදුරටත් පැවසූහ.
බේරූට්හි නගර ආණ්ඩුකාර මාවන් අබූඩ් පැවසුවේ 300,000 කට පමණ ජනතාවට නිවාස අහිමි වී ඇති අතර ඔවුන්ට ආහාර, ජලය සහ නවාතැන් පහසුකම් සැපයීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.

වසර හයක් තිස්සේ වරායේ ගබඩාවක ගබඩා කර තිබූ රාජසන්තක කළ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750 ක් පුපුරා ගොස් ඇති අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පිපිරුමට වගකිවයුතු පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබා දෙන බව එරට ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කර ඇත.

පිපිරුම හේතුවෙන් බේරූට් වරාය මුළුමනින්ම විනාශයට පත්වී ඇති අතර අනාරක්ෂිත ලෙස වරායේ ඇමෝනියම් නයිට්රේට් ගබඩාවක පවත්වාගෙනයාම සම්බන්ධයෙන් වරාය නිලධාරීන් නිවාස අඩස්සියේ තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක කවුන්සිලය පියවර ගෙන ඇත.

ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් අද (අගෝස්තු 05) හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා සති දෙකක හදිසි තත්වයක් හා දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.එමෙන්ම පිපිරීමෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ඩොලර් මිලියන 66ක මුදලක් නිදහස් කර තිබේ.

ලෙබනනයේ ශ්‍රී ලාංකික තානාපතිවරයා පවසන්නේ ඊයේ ඇති වූ පිපිරීම හේතුවෙන් බේරූට් හි පිපිරුම් ස්ථානයේ සිට කිලෝමීටර 10 ක් දුරින් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානියක් සිදුව ඇති බවයි.
පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ ශ්‍රී ලාංකිකයින් එක්කෙනෙකු පමණක් බව මේ වන විට වාර්තා වී ඇතැයි ඔහු පැවසීය.

සිදුවූ මෙම අනපේක්ෂිත ව්‍යසනයත් සමග බොහෝ ලෝක නායකයින් ලෙබනන් ජනාධිපති වෙත සිය කණගාටුව හා සහයෝගය පළකරමින් Twitter පණිවිඩ නිකුත් කර තිබේ.

සබැදි ලිපි :- ලෙබනනයේ බේරූට් අගනුවර විශාල පිපිරීමක්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *