උතුම් මිත්‍රත්වය – කොටස 03

(මෙහි එන නම් ගම් සහ ඡායාරූප මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න)

මෙතෙක් කථාව…

(උපතින්ම දුප්පත්කම රැගත් මාලතී සෙනෙවිරත්න මැදවච්චියෙන් පිටිපන අම්මාගෙ මහගෙදරට ආවෙ තාත්තාගේ මරණයට පස්සේ. නමුත් ඇගේ අලුත් ජීවිතයත් අඳුරෙන් අඳුරටම දමමින් ගැහැනු ළමයෙක්ට වීය හැකි උපරිම දේ ඇගේ මාමගෙන්ම සිදුවුණා. නමුත් යහපත් යෙහෙලියක වන ශාන්තිගේ උදව් උපකාරයෙන් හිත හදාගත්තත්, නව පෙම්වතා වෙන නිශාන්තගේ ආදරය හමුවේ ඒ මිතුදම පළුදුවුණා ද කියලත් හිතෙනවා ???)

දෙවැනි කොටසට – http://thearticleteam.com/stories/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83-02/

කොටස 03

ඊට පස්සේ මට ආයෙ ශාන්තිව මුණ ගැහුනේ නෑ. මං හොයන්න ගියෙත් නෑ. නිශාන්තගේ ආදරයක් එක්ක මං කාලෙ ගෙව්වා. කාලේ ගෙවිලා යද්දී නිශාන්තත් එක්ක නිදාගන්න එක නිතරම කරන්න සිද්ධ වුණා. මුලින් දැනුණු රාගයෙ ඒ ප්‍රේමාන්විත සුවය පහු වෙනකොට අඩු වුණා. මුලින් නොදැනුනු වේදනාවල් මට දරන්න වුණා.


ඒත් නිශාන්ත වෙනුවෙන් ඒ හැම දේම ඉවසුවා. මට ඕනේ නැති වුනත් නිශාන්තට ඕන හැම වෙලේකම මම ඒ සුවය එයාට දුන්නා. ඉස්සර ගොඩක් පරිස්සමින් මාව ආරක්ෂා කරපු නිශාන්ත, පහු වෙනකොට රිසිසේ මගේ ශරීරය යොදාගත්තා. ඒත් පවුලේ කෙනෙක්වත් සලකපු නැති විදියට මට සලකපු එකම කෙනා වුණු නිශාන්තට හරහට වචනයක්වත් කියන්න මට ඕන වුණේ නෑ.


මෙහෙම කාලේ ගෙවෙන අතරතුර එක දවසක මං හදිසියෙන්ම නිශාන්ත වෙන ගැහැණු ළමයෙක් එක්ක සාප්පුවක ඉන්නවා දැක්කා. මට හිතා ගන්න බැරි වුනා. නිශාන්තගෙන් ඇහුවම කිව්වෙ, ඒ එයාගේ කාර්යාලයේ යෙහෙලියෙක් බවත් රාජකාරි කටයුත්තකට ඒ සාප්පුවට ගිය බවත්. ඒත් දෙන්නම හිටියේ සැහැල්ලු ඇඳුම් වලින්. ඔය සැකය හිතේ දරාගෙන මං තවත් කාලය ගත කරා. විටින් විට නිශාන්තටත් මාමටත් අඹුකම් කරමින් ගෙවපු ජීවිතේ ටික ටික මටම අප්පිරියා වුණා. 
මෙහෙම කාලය ගෙවෙන කොට තමයි මගේ ජීවිතේ මං වැඩිපුරම කලබල වුණු ඒ අඳුරු දවස උදා වුණේ. උදේ ඇහැරුණු වෙලේ ඉඳන් ඇඟට දැනුණු අමාරුව නිසා මං වැඩට නොයා ගෙදර ඉන්න තීරණය කරා. කොහොම හරි වෙලාව උදේ 10 ට වගේ ඇති, මං අමාරුවෙන් නැගිටලා සාලෙ මැදින් කුස්සියට ඇවිදන් ගියේ කන්න මොනවා හරි බලන්න. එක පාරටම ඇස් දෙක නිලංකාර වුණා. වහලේ උළු පරාල වටේට කැරකුනා. මට මතක එච්චරයි. අවදිවෙන කොට අම්මා වතුර වීදුරුවක් අතේ තියන් මගේ ඔලුව අම්මගේ ඔඩොක්කුවේ තියන් හිටියා. 
මං නැගිටින්න උත්සාහ කරා විතරයි මතක, බඩේ ඉඳන් උගුරට අකුණක් වැදුනා වගේ වමනේ ගියා. කලින් අසනීප වුණාම යන වමනේ වගේ නෙමෙයි මේක හරිම වේදනාකාරී. දවල් වෙනකම්ම උගුරට එන ගතිය තිබ්බා, ඇඟටත් පණ නෑ. අම්මගේ ගොඩ බෙහෙත් වලට අඩුවක් තිබුනෙත් නෑ . ” හවස හතරට හන්දිය ඩිස්පෙන්සරිය අරිනවා එතෙන්ට යමු” අම්මා කිව්වා. 
ඊට පස්සේ හවස අම්මයි මායි ඩිස්පෙන්සරියට ගියා. දොස්තර මහත්තයා මාව පරික්ෂා කරල හිනා වෙලා කිව්වා. ” මගේ සුභ පැතුම්..! ඔයා අම්මා කෙනෙක් වෙන්න යනවා – මේ පලවෙනි බබා නේද? “. මගේ හිතට අකුණක් ගැහුවා වගේ, මම අම්මා දිහා බැලුවා අම්මා බිම බලන් හිටියා. සායන දින ගැන අවවාද කරලා අවශ්‍ය බෙහෙත් දොස්තර ලියල දුන්නා.
ගෙදර එනකම් අම්මා වචනයක් කතා කළේ නෑ. ගෙදර ආවට පස්සෙ ඇහුවා ” මාලතී අර මහත්තයාට දැන්වත් ගෙදර එන්න කියපන් මේවා පිළිවෙලක් කරන්න “. අම්මා මගෙයි නිශාන්තගේයි තිබුණු සම්බන්ධය නොදැන හිටිය නෙවෙයි. නිශාන්තට ගෙදර එන්න කියලා කීප වතාවක්ම කිව්වා. ඒත් නිශාන්ත ඒ හැම වෙලේම කිව්වේ තාම ඒකට කාලේ නෙමෙයි කියලා.
අමාරුකම් එක්ක මට ආයි වැඩට යන්න බැහැ කියල හිතුනා. සතියකට විතර පස්සේ මම අස්වීමේ ලියමනත් අරන් ආයතනයට ගියා. ආයතන ප්‍රධානියාට ඒක බාර දීලා, කාර්යාල යෙහෙළියන්ගෙන් සමු අරන් මං කෙලින්ම ගියේ නිශාන්තගේ කාර්යාලයට, එයාව මුන ගැහිලා මේ ආරංචිය එයාට කියන්න. 
ඒත් මට එදා නිශාන්තව මුණ ගැහුනේ නෑ. නිශාන්තට එයාගෙ ගමට මාරුවක් ලැබිල කලින් දවස අස්වෙලා ගියා කියලා කාරයාලයේ අය කිව්වා. මගේ හිතට දැනුනේ ලොකු දුකක්. ඒ නිශාන්ත ගිය නිසා නෙමෙයි නොකිය ගිය නිසා. ගියත් ලියමනක් හරි එවයි කියලා මම හිතුවා.
කීප වතාවක්ම ඔහුගේ පෙර කාර්යාලයට ගිහින් හොයලා බැලුවා. ආරංචියක් නෑ කියලා තමයි ඒ හැම වෙලාවකම දැනගන්න ලැබුණේ. නිතරම කාර්යාලයට ගිහින් තොරතුරු හොයන නිසා කාර්යාල ප්‍රධානියා දවසක් මට කතා කරා. ” ඔයාගෙයි නිශාන්ත මහත්තයාගෙයි තියෙන සම්බන්ධ ගැන මට වැඩක් නෑ, හැබැයි මේක රාජකාරි ස්ථානයක්. ආයෙ මෙහෙ එන්න එපා ආවොත් මට නීති මගට බහින්න වෙයි” ඉතින් මට එ්කත් තහනම් වුණා.
මාස දෙකක් විතර පහු වෙද්දි, නෙරන් එන කුස දිහා බලල මට මාවම එපා වුනා. මේ එළියට එන කිරිසප්පයාට මං මොනවා කියන්නද ? රටට ලෝකෙට මං කොහොම මුහුණ දෙන්නද ? ඒත් මට නිශාන්ත ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසාම මං අම්මත් එක්ක නිශාන්තගේ ගම හොයා ගෙන ගියා. එහෙ නගරෙ තියෙන බැංකු ශාඛාවේ තමයි නිශාන්ත වැඩ කරේ, අපි එහෙට ගියා. 
අනේ ඉස්සර මං මත්වුණු ඒ දේහධාරියා, මගේ නිශාන්ත ඒ විදියටම කාර්යාලයේ වැඩි කරමින් සිටියා. නිශාන්තත් එක්ක කතා කරන්න ඕන කියලා ආරක්ෂක නිලධාරියාට කිව්වම, අම්මටයි මටයි අමුත්තන්ගෙ කාමරයට යන්න කිව්වා. ආරක්ෂක නිලධාරියාගේ පණිවිඩයට අමුත්තන්ගෙ කාර්යාලයට ආපු නිශාන්තගේ මූණ මාව දැක්කම අදුරු උනා.
නිශාන්ත හීන් සීරුවේ මං ගාවින් වාඩි උනා. ඊට පස්සේ අම්මා දිහා බලලා “මේ මාලිගේ අම්මාද ?” කියලා ඇහුවා. “ඔව් මහත්තයෝ බලන්නකො මේකි කරගෙන තියෙන වින්නැහියක්” අම්මා ඉස්සර වුනා. “ඇයි මාලි මොකද උනේ ?” නිශාන්ත මගෙන් ඇහුවා. “මට මුලින්ම කියන්න, ඇයි මට නොකියා ගමේ ආවේ ?” මං ඇහුවා. “ඔයාට දුක හිතෙයි කියල, නැති නම් මං මාරුව ඉල්ලලා දැන් මාස හයකට වැඩියි” නිශාන්ත සංවරව කිව්වා.
“ඉතින් ලියමනක් හරි එවන්න එපැයි” මං හැඬු කඳුලින් කිව්වා. ” ලියමන් එවන්න මං ගාව ඔයාගේ ඇඩ්‍රස් තිබුන් නැහැනේ කෙල්ලෙ” නිශාන්ත එහෙම කියන ගමන් මගේ ඔලුව අතගෑවා. “නිශාන්ත මගේ රත්තරන් මං අම්මා කෙනෙක් වෙන්න යනවා” මං නිශාන්තගේ අත අල්ලගෙන කිවුවා. ” මොකක්? මේ ටිකට මාලි කසාද බැන්දා ද ?” නිශාන්ත පුදුමෙන් ඇහුවා. “මොකක්ද මහත්තයෝ කියන්නේ ? දැන් මහත්තයා නෙමෙයිද ඉඩ ලැබෙන හැම වෙලේම මේකි අඹුකමට ගත්තේ ? මං දැන ගත්තා කාටත් හොරා ගමේ ලගින කොට මේකිට කරේ බොරුවක් කියලා ” අම්මා කෑ ගැහුවා. “අනේ අම්මේ ඇයි මේ නිශාන්තට කෑ ගහන්නේ ? හරියට විස්තරේ කියන්නැතිව ” මං අම්මගේ කට වහන්න උත්සාහ කරා. 
“මොකක්ද මාලි මේ කියන්නේ ? , මට මේ කිසිම දෙයක් තේරෙන්නෑ” නිශාන්ත වටපිට බලන ගමන් කිව්වා. “අනික මේක මං වැඩ කරන තැන, ඔයාලා දෙන්න ඉස්සරහ තියෙන තේ කඩේට යන්න, මං ටිකකින් එන්නම්” නිශාන්ත බැගෑපත් වුණා. අම්මයි මමයි තේ කඩේට ගියා. ටිකකින් එන්නම් කිව්ව නිශාන්ත කඩේට ආවෙ පැයකට පස්සේ. ඒ ආවෙත් මූනේ සිනා පොදක් නැතිව. මං කිව්වා “නිශාන්ත මට දරුවෙක් හම්බ වෙන්නේ ඉන්නේ ඔයාගෙන්” කියලා. ” මොකක්ද පර බැල්ලී උඹ කියන්නේ ? මට කියන්නෙ උඹ පිරිමි එක්ක ලැගලා දරුවො හදාගත්තා කියලා මට ඒවා බාරගන්න කියලා ද ?” නිශාන්ත රාක්ෂයෙක් වගේ කිව්වා.


මං ඉස්සර දැක්ක, ඒ මං ගොඩක් ආදරේ කරපු නිශාන්තගේ වැදගත්කම ඒවෙලේ මං නිශාන්තගේ ඇඟ පුරාම හෙව්වා. මූණ රකුසු වෙලා, අත පය දරදඬු වෙලා, මුළු ඇඟම දහදියෙන් නෑවිලා. මේ නිශාන්තමද මට හිතුනා. මැණිකක් රකින නා රජකු සේ ඉස්සර මාව බලාගත්තු මගේ ආදරේ ද මේ ? , මං මගේ හිතින් ඇහුවා. මට කියාගන්න වචන නැති වුණා මගේ කට ගොළු වුණා උගුර කෙළ බිඳක් නැති වෙන තරමට හිදුනා. ඒ නිශාන්ත බැන්න නිසා නෙමෙයි, නිශාන්තගේ දකුණු අතේ වෙදඟිල්ලේ තිබුන මංගල මුදුව දැක්ක නිසා.


“නිශාන්ත ඔයා බැන්දද ?” මං අඬාගෙන ඇහුවා. “ඔව් මං කසාද බැඳපු මිනිහෙක්, මං කසාද බැඳලා ඉන්නේ මේ ගමේම ඉන්න ලස්සනම – පොහොසත්ම කෙල්ලව , කසාදෙන් පස්සේ ගොඩින් අක්කර 25 යි මඩින් අක්කර 15 යි කාර් එකයි ලොරියයි පරණ වලව්වයි කඩ කාමර ගොඩනැගිල්ලයි ඔක්කොම මට අයිති වුනා. අනික ඒක මම උසස් පෙළ කරන කොටම යෝජිත කරපු මඟුලක්. මොකද මම තමයි ඒ කාලෙ ගමේ ඉස්කෝලෙ හිටපු දක්ෂම – කඩවසම්ම කොල්ලා ” නිශාන්ත කසාදේ වග කිව්වේ සතුටින් උදම් වෙලා.


මට මාව දරාගන්න බැරි වුණා. මං පැනලා ඇල්ලුවෙ නිශාන්තගේ කමිස කොලරෙ “දැන් උඹ කියන්නේ උඹ මාව තියාගත්තෙ අඹුකමට විතරද ?” මං යක්ෂාවේශයෙන් ඇහුවා. 

මතු සබැඳි…

_විභූ_

Leave a Comment

Your email address will not be published. Required fields are marked *