උතුම් මිත්‍රත්වය – කොටස 06

මෙතෙක් කථාව…

(දුප්පත්කමේ හිනිපෙත්තේ හිටපු මාලතීට, තාත්තා කියලා හිතාගෙන හිටපු මාමාගෙන් අනාථ වෙන්න සිදු වුනත්, උතුම් අදහස් තිබුණු ශාන්තී නම් අපූරු යෙහෙළියගේ ආදර්ශයන් මගින් නැවත ජීවිතය යථාවත් කර ගැනීමට අවස්ථාව ලැබුණා. නමුත්, නිශාන්ත නම් නවක පෙම්වතාගේ රැවටිලිකාර ආදරය හමුවේ ශාන්තිගේ මිත්‍රත්වය පළුදු වුණා. නිශාන්තගේ පිටුපෑමත් ඔහුගෙන් ලද දරු ගැබත් නිසාවෙන් මාලතීට විඳින්න සිදුවුණු අවලාද අනන්තයි අප්‍රමාණයි. නමුත් පැවිදි තෙරණියක ලෙස ආපසු මාලතිගේ කටුක වූ දිවි අරණට වැඩි ශාන්ති පොඩි මෑණියන් ඇගේ ජීවිතය වෙනස් කළ අයුරු පුදුමාකාරයි.)

පස්වෙනි කොටසට

කොටස 06

” මේ බුදු දහම තරම් විශිෂ්ට යථාර්ථවාදී ධර්මයක් තවත් නැහැ මාලි”
” මිනිස්සු 999 ක් මරපු අංගුලිමාල රහත් කරවපු, රා කල දහසක් බිව්ව නාලාගිරි ඇතා දමනය කරපු මහා බලැති ධර්මයක් මේක “
” මේ ධර්ම මාර්ගයේ පහුවෙලා හරි යන කිසිම කෙනෙක්ට වරදක් වෙන්නේ නෑ”
” වැරදි කරපු, පව් කරපු හැම දෙනෙක්ටම තමාගේ වැරදි නිවැරදි කර ගන්න අවස්ථාවක් දෙන, වැරදි කළ අය පිළිගන්න, ඒ අයව යහ මගට ගන්න අති උතුම් ධර්මයක් තමයි අපේ මේ බුදු දහම”
“අපි ගොඩක් වාසනාවන්තයි එහෙව් ධර්මයක් උපතින් හරි උරුම කර ගත්තට, නැතිනම් අපටත් වෙන්නේ මිථ්‍යා මතවල ගිලිල වැරදි තීරන අරන් පව් කර ගන්න” ශාන්ති මෑණියෝ හරි ලස්සනට උතුම් බුදු දහම ගැන දේශනා කරා.

මගේ පුරන් වූ හිතට ඒ වචන මරු කතරට දිය පොදක් වගේ වුණා. ශාන්ති මෑණියෝ නැවතත් මගේ ජීවිතයට පැමිණෙන්න තරම් මම මොන තරම් වාසනාවන්තද!! මට හිතුනා. ඒත් එදා නිශාන්ත ගැන හරහට කතා කරපු වෙලේ මං ශාන්තිව එළව ගත්ත විදිය මතක් වෙනකොට අදටත් මට දුක හිතෙනවා. ලැජ්ජ හිතෙනවා. ශාන්ති මෑණියෝ වගේ උතුම් කෙනෙක්ටද මම එහෙම කළේ කියලා.

“අනේ මෑනියනි, ඔබ වහන්සේට හරහට කතා කළ පවට මන් දුක් විඳී, ඒත් ඔබ වහන්සේගේ පින් කාර හිත රිදෙව්වට මට සමාවෙන්න” මං මෑණියන්ගේ දෙපා අල්ලගෙන හඬා වැටුණා. “මාලි, මම කිව්වනේ සිද්ධ වුණු හැම දේම දැන් වෙලා ඉවරයි, ඒ දේවල් අමතක කරලා අපි ධනාත්මකව අනාගතයට මුහුණ දෙමු” ශාන්ති මෑණියෝ මාව නැගිට්ටවන ගමන් පැවසුවා.

මම එදා ශාන්තිට බැන්නේ “තෝ කළු තඩි ගෑනියෙක් වුණාට අපිට කරන්න දෙයක් නෑ , අන්ධයෙක් කොරෙක් හරි බැඳ ගනිං” කියලා. ඇත්තටම ශාන්ති කියන්නේ හදවත ලස්සන උනාට පෙනුමින් අඩු කෙනෙක්. අදුරු පාට තරබාරු ශරීරය ඇයව අවලස්සන කරත් සිරියාවන්ත මුහුණක් ඇයට තිබුණා. ඒත් දැන් වැඩ ඉන්න ශාන්ති පොඩි මෑණියෝ හරිම පැහැපත්, උසට සරිලන බරකින් යුත් උත්තමාවියක්.

මට එතුමිය දකින කොට තේරුණා බුදු දහම කෙතරම් මිනිසුන් වෙනස් කරන්න සමත් ද කියලා, හිතින් මෙන්ම ගතිනුත්. ඩයි කුප්පි වලින් තිරිහන් වුණාම ලැබෙන සරාගී පෙනුම වගේ නෙමෙයි, හිත පිරිසිදු කර ගත්තම ලැබෙන්නේ හරිම සුන්දර පින් කාර පෙනුමක්. පැය ගණනක් වුනත් එක දිගට ඇසිපිය නොහෙළා රාග සිත් ඇති කර නොගෙන නාබර වියේ තරුණයෙකුට වුනත් බලා සිටින්න පුළුවන් ඒ උත්තරීතර පෙනුම දිහා.

එදා නිශාන්තගේ පිටු පෑම හමුවේ, මට තේරුන එකම දෙය වුනේ ශාන්ති, නිශාන්ත ගැන කියපු හැමදේම නිවැරදි බව. මෙච්චර ලගින් නිශාන්තව ආශ්‍රය කරපු මටවත් හොයාගන්න බැරිවුනු ගොඩක් දේවල් ශාන්ති සොයාගෙන තිබුණා. ඒ දේවල් හොයන්න ශාන්ති නිශාන්තගේ ගමේ පවා ගිහින් තිබුණා. එච්චර කැපවීමක් ශාන්ති මං වෙනුවෙන් කරලා තිබුනත් මට ඒවා නොතේරෙන්න තරම් මම මෝඩ වුණා.

දුවේ පුතේ, ඔය දුවල පුතාලත් මේ වනවිට ආදරවන්තයො වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න පුතේ, ජීවිතේට සහකාරයෙක් ලබා ගන්නවා කියන්නේ ජීවිතේ අපි ගන්න වැදගත්ම තීරණයක්. මගේ නම් අදහස ඒ තීරණය තනිවම ගන්න එපා. තමන්ට සහකරුවකුගේ වටිනාකම දැනෙන සමයක එහෙම කෙනෙක් හොයාගෙන, ඒ කෙනා කොයි තාක් දුරට තමන්ට සහ තමන් වටා තියෙන පරිසරයට ගැලපෙනවද කියන දේ බලන්න ඕන.

අන්න, ඒ දේට අපිට ලඟින් ඉන්න අයගේ අදහස් සහ මතයන් ගොඩක් වැදගත් වෙනවා. මොකද තනි තීරණ ගත්තොත් ජීවිතය වරදින්න පුළුවන් අවස්ථා වැඩියි. තාත්තෙක් නැති දරුවෙක් මගේ කුසට ආවේ මං ශාන්තිගේ අදහස් ඉවත දාපු නිසයි.

“මාලිට දරුව ලැබෙන්න තව කොච්චර කාලයක් තියෙනවද ?” ශාන්ති මෑණියෝ නැවතත් කටහඬ පුබුදු කරේ අම්මා පිළිගන්නවපු ගිලන්පස භුක්ති විඳින ගමන්.

“දින තියෙන්නේ මේ මාසේ අගට අපේ මෑණියෝ” මම සුසුම් හෙළන ගමන් කිව්වා. “දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් ළඟ තියෙන්න ඕන ලොකුම දේ තමයි හිතේ සතුට, මාලිට සිද්ධ වෙච්ච දේ අනුව ඒක අමාරු දෙයක් බව මම දන්නවා ඒත් මාලිගේ හිත හදාගන්න මම උදව් කරන්නම්” මෑණියෝ මිත්‍රශීලීව දේශනා කරා. මාමට ගොදුරු වුණු වෙලාවේදි මගේ හිත හැදුවා වගේ එතැනින් එහාට ශාන්ති මෑණියෝ ආයෙමත් මගේ ජීවිතේට එකතු වුණා. අද මම මේ ගෙවන සැනසිලිදායක ජීවිතේ ගොඩනඟා ගන්න මට උදව් කළේ ඒ උත්තමාවියමයි.

කාලේ කෙමෙන් කෙමෙන් ගෙවිලා ගියා. ශාන්ති මෑණියෝ පුළුවන් හැම වෙලාවකම ගෙදරට වැඩම කරලා පිරිත් දේශනා කරා, බණ කියලා දුන්නා, මගේ හිත ගොඩක් හැදුවා, පිරිත් නූල් බැන්දා, වතුරට පිරිත් කරලා පිරිත් පැන් හැම උදේම බොන්න දුන්නා. ඇත්තටම මම ගැබිනියක්ව හිටිය කාලේ හිතේ සතුට රැඳීච්ච දවස් කිහිපය උනේ ශාන්ති මෑණියෝ සමග ගතකළ ඒ අවසාන දවස් කිහිපය විතරයි.

මගේ රත්තරන් අම්මාවත් මෙතනදී මතක් කරන්නම ඕන. ශාන්ති මෑණියෝ ගෙට වටින හැම මොහොතකම අම්මා උන්වහන්සේට ආවතේව කරා. උන්වහන්සේගේ උපදෙස් පිළි අරගෙන ඒ විදිහට මට සැලකුවා. මෑණියෝ වදාළ පරිදි අවසාන කාලේ තමයි මම උදේ හවා එක හිතකින් බුදුන් වඳින්නවත් පටන් ගත්තේ.

කලින් බුදුන් වැන්දට ඒක කිසිම තේරුමක් ඇතිව කරේ නෑ. ඒත් මෑණියන්ගේ උපදෙස් අනුව ගෙදර ඉස්සරහ ලෑලිවලින් බුදු මැදුරක් හදලා උදේ හවස රාත්‍රී බුද්ධ පූජා පැවැත්වූවා. අම්මා ඊට අවශ්‍ය මල් පහන් තෙල් සුවඳ දුම් කපුරු ගිලන්පස දාන පැන් ඔක්කොම පිළියෙල කරල දුන්නා. ඒ බුදුන් වඳින හැම මොහොතකම දරුවා ගැන සහ දරුව ලැබීම ගැන යහපත් ප්‍රාර්ථනාවන් කරා.

හැමවෙලේම නිරෝගී අංගසම්පූර්ණ දරුවෙක් හිතෙන් මැව්වා. රෑ නින්දට යනකොට තුන් පිරිත අංගුලිමාල පිරිත කිව්වා. මුළු විශ්වයේම සිටින්නා වූ දේව බ්‍රහ්ම මනුෂ්‍ය අමනුෂ්‍ය සියලු සත්වයකුටම අමා මහ නිවන අවබෝධ වේවා කියලා පින් දීලයි නිදාගත්තෙ. ඉස්සර වගේ නරක හීන පෙනුනෙ නෑ නින්දෙන් බය වුණේ නෑ හරිම ලස්සන පිංකාර දවස් කිහිපයකුයි මම ගත කළේ. ඇගේ පතේ වේදනාව සේරම වගේ අඩුවුනා. මතක් කරත් සතුටක් මට ඒ දවස් කීපය.

එදා බිනර මාසේ 28 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක්. උදේ මම ඇහැරුනේ හයට විතර ඇත්තටම මාව ඇහැර වුණා බඩේ දැනුන වේදනාවත් එක්ක. ‘හම්මේ දරන්න බැරි වේදනාවක්’ ගතවුණු මිනිත්තු කිහිපයට වේදනාව දෙගුණ තෙගුණ වුණා. ඇඟේ ඇට මස් ලේ නහර එළියට එන්න වගේ. කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා..!

මතු සබැඳි…

විභූ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *