උතුම් මිත්‍රත්වය – කොටස 07

මෙතෙක් කථාව..

(දුප්පත්කමේ හිනිපෙත්තේ හිටපු මාලතීට, තාත්තා කියලා හිතාගෙන හිටපු මාමාගෙන් අනාථ වෙන්න සිදු වුනත්, උතුම් අදහස් තිබුණු ශාන්තී නම් අපූරු යෙහෙළියගේ ආදර්ශයන් මගින් නැවත ජීවිතය යථාවත් කර ගැනීමට අවස්ථාව ලැබුණා. නමුත්, නිශාන්ත නම් නවක පෙම්වතාගේ රැවටිලිකාර ආදරය හමුවේ ශාන්තිගේ මිත්‍රත්වය පළුදු වුණා. නිශාන්තගේ පිටුපෑමත් ඔහුගෙන් ලද දරු ගැබත් නිසාවෙන් මාලතීට විඳින්න සිදුවුණු අවලාද අනන්තයි අප්‍රමාණයි. නමුත් පැවිදි තෙරණියක ලෙස ආපසු මාලතිගේ කටුක වූ දිවි අරණට වැඩි ශාන්ති පොඩි මෑණියන් දෙසූ බණ මාලතීටත් අලුත උපන් දරුවාටත් පිහිට වුණු හැටි පුදුමාකාරයි.)

හයවෙනි කොටසට

කොටස 07

මං යටිගිරියෙන් කෑ ගැහුවා. අම්මා මට වඩා හයියෙන් කෑ ගහගෙන කාමරේට ආවා. මගේ ඇස් දෙක පිය වුනා. සිහිය එන වරින්වර ත්‍රීවිල් එකක්, ඉස්පිරිතාලෙ ගේට්ටුව, ඇඳවල් සහිත වාට්ටුවක් හීනෙන් වගේ දැක්කා. ටික මොහොතකින් සිහිය ආවත් දරන්න බැරි අමාරුව එහෙමම තිබුණා. මං කෑගැහුව දෙවනත් වෙන්න.

“Doctor මේ අම්මට අමාරුයි! ඉක්මනට labour room දාන්න වෙනවා ” මිසි නෝනා කෙනෙක් කලබලයට කිව්වා මට මතකයි. මාව ප්‍රසූත කාමරයට දැම්මා. ක්‍රමයෙන් වේදනාව වැඩි වුණා. දොස්තර මහත්තුරු මිසී නෝනල වට උනා. මම හිතුවා මං මැරෙන්නෙ යනවා කියලා. පුළුවන් තරම් හිතට ශක්තිය ගත්තා. මොහොතින් මොහොත මට තේරුණා මං නව මසක් දරන් හිටිය බර අඩු වෙනවා කියලා. මම හිටපු ඇඳ කපාපු මාළු ලෑල්ල වගේ වුණා. මගේ ඇස් පිය උනා, ඒත් ආයෙත් මට ඇහැරුනේ මගේ පපුව උඩට ජීවිතයේ පළමුවරට දැනුන වචනයෙන් කියන්න බැරි හැඟීමත් එක්ක.

දෙවියනේ, මගේ ජීවිතය! මගේ රන් කඳ! මගේ වස්තුව! මිසි නෝනා මගේ පපුව උඩින් තියලා. හිතට දැනුන ඒ අසීමිත ආදරයක් එක්ක මගේ පැටියාගේ මොළකැටි හිස මම ඉඹගෙන ඉඹගෙන ගියා. මගේ වස්තුව මම පපුවේ හොවා ගෙන අතගෑවා. හිතට ගතට දැනුන වේදනාව කොහේ ගියාද මන් දන්නෑ. මට දැනුනේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. “මාත් දැන් අම්මා කෙනෙක්” මට ආඩම්බර හිතුණා.

“අම්මා ඔයා හරිම වාසනාවන්තයි! ඉස්පිරිතාලෙට ඇවිත් පැය දෙකයි ගියේ, සුරංගනාවියක් වගේ දූ පැටියෙක් ලැබිලා” මිසී නොන මගේ ඔලුව අතගාන ගමන් කිවුවා. මට එතකොට සිහිවුනේ මට ලැබිලා තියෙන්නෙ දු පැටියෙක් බව. “අම්මෙ, දරුවා ලැබුණේ හරියටම නමයයි පහට” මිසි නෝනා හිමින් කිව්වා.
“මගේ සායන වලට ආපු අම්මලාගෙන් වැඩිපුර ඇඬුවේ ඔය අම්මා උනාට, නිරෝගිමත්ම දරුව ලැබුණෙත් ඔය අම්මට” දොස්තර මහත්තයා කරුණාබර හිනාවක් සමග මට කිව්වා.

මගේ දුක්බර කතාව දොස්තර මහත්තයා නොදැන හිටිය නෙමෙයි. එතුමා තාත්තෙක් නැති දරුවෙක් කුසේ හිටපු මට පිහිට වුණා. කරුණාවන්ත වුණා. මට මතකයි බේත්හේත් නොමිලේ ගන්න free card එකක් පවා මට දීලා තිබ්බා.

ප්‍රසූතිකාගාර අදාළ පැය ගණන ගෙවුණට පස්සෙ, කිරිකැටියව පිරිසිදු කරලා මිසි නෝනා මගේ අතට දුන්නා.
අම්මෝ ! සුරංගනාවියක් වගේ සුදුම සුදු දූ සිඟිත්තෙක් නේ මං කුසේ දරන් ඉඳලා තියෙන්නෙ. අම්මෙක්ට තව මොන සතුටක්ද නිරෝගී දරුවෙක් හැරෙන්න.
ලෝකෙට ආපු පළමු පැය කීපය නිසා වෙන්න ඇති කෙල්ල අඬන්න පටන් ගත්තා. මම කෙල්ලව මගෙ තුරුලෙ හොවා ගත්තා ගොඩක් ආදරයෙන්.

දූ සිඟිත්තයි මාවයි වාට්ටුවට මාරු කළා. හවස ලෙඩ්ඩු බලන වෙලාව වෙනකම් මම හිටියෙ නොයිවසිල්ලෙන් අම්මා මාව බලන්න එනකම්. ඒත් මගේ බලාපොරොත්තු මුදුන්පත් උනේ අම්මා එක්ක මාව බලන්න ආපු ශාන්ති මෑණියෝ දැකපු වෙලේ.

“අනේ මෑනියනි ඔබවහන්සේත් වැඩිද ?” මට කියවුණේ ඉබේමයි. “මේ වගේ මොහොතක මාලිව තනි කරන් නෑ ” මෑණියෝ පැවසුවේ මගේ දෝතේ හිටපු රන් කැටියාගේ මූණ බලන ගමන්. “රත්තරන් දුවේ උඹට කොහොමද මගේ ඇඟේ ලේ නැතිව මං උන්නෙ මගේ දුවෙි!!” අම්මා සතුටු කඳුළු පුරෝගෙන මගේ ඔළුව අතගෑවා.

ගස් ගෙඩි කඩන්න ගිහින් ගහෙන් වැටිල තාත්තා මැරුණ දා පටන්, පියෙක් නැති දරුවෙක් මෙලොවට බිහි කරපු දවස වෙනකම් එක වචනෙකින් එක ක්‍රියාවකින් මගේ හිත රිදවපු නැති කෙනෙක් තමයි මගේ රත්තරන් අම්මා. මං අම්මව බදා ගත්තා. ඒ සෙනෙහස අදටත් මට දැනෙනවා. අම්මගේ තුරුළේ එන ඒ උණුසුම අදටත් මට දැනෙනවා, හැඟෙනවා.

රන්කැටියට ලන් උනු ශාන්ති මෑණියෝ සුමුදු නළල් තලය උඩ, උන් වහන්සේගේ ඇඟිලි තියලා ගාථා පද පේලි වලින් සෙත් ශාන්ති කරා. මගේ දෝතේ සැතපෙමින් ඉඳපු රන්කැටියා තවත් ගුලි වෙලා නිදාගත්තෙ ශාන්ති මෑණියන්ගේ ආශිර්වාදයත් එක්ක. අම්මා උණු උණුවෙ උයපු පොලොස් ඇඹුලක් එක්ක බත් ගෙනත් තිබ්බා. ආරාමයට ලැබුන දවල් දානයෙන් කොටහක් ශාන්ති මෑණියෝ රැගෙන ඇවිත් තිබුනා. හත් අවුරුද්දකින් කෑවෙ නැතිව වගේ තිබුණ බඩට ඒ කෑම රස මසවුළු වුණා. මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ ඉනුවෙ බත් කටවල් දෙකක් කෑවට පස්සේ.

මතු සබැඳි…


_විභූ_

Leave a Comment

Your email address will not be published. Required fields are marked *