පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ ඕමාන කණ්ඩායමේ නායක සීෂාන් මක්සූද් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය.

පන්දුවාර 10.4 කදී ලකුණු 51කට කඩුලු 4ක් බිදවැටී ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු ස්ථානයක සිටියදී අවිශ්ක ප්‍රනාන්දු හා එක්වූ නායක දසුන් ශානක පන්දු 24කදී ලබාගත් වේගවත් ලකුණු 51 ත් ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 111ක සම්බන්ධතාවයත් ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා ගෙනයන ලදී. අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 83ක් රැස්කළ අතර ඕමානය වෙනුවෙන් පන්දු යැවීමේදී ෆයියාස් බට් කඩුලු 2ක් දවාගත් අතර කාලිමුල්ලා, කවාර් අලි එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕමාන කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.
ඕමාන කණ්ඩායම වෙනුවෙන් නසීම් කුෂි ලකුණු 40ක් රැස්කළ අතර මොහොමඩ් නදීම් ලකුණු 32ක් රැස්කළේය. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 4කුත් චාමික හා නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගිනුත් දවාගන්නාලදී.

ඒ අනුව තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇත. තරගාවලියේ දෙවන තරගය ඔක්තෝබර් 09 වන දින ශ්‍රීලංකා වේලාවෙන් පස්වරු 8.00 ආරම්භවීමට නියමිතයි.

Related posts

Leave a Comment