ලොව භයානකම ගුවන් තොටුපල – ලූක්ලා

නේපාලයේ ලුක්ලා ගුවන් තොටුපල ලෙස හැඳින්වෙන ටෙන්සිං – හිලරි ගුවන් තොටුපල  දැනට ලොව භයානකම ගුවන් තොටුපල ලෙස හදුන්වයි. ලොව උසම කන්ද වන එවරස් තරණය සදහා වාර්ෂිකව විශාල පිරිසක් පැමිණේ. එවරස්ට් තරණය කරන කණ්ඩායම් මුලින්ම මෙම ත්‍රාසයජනක ගුවන් ගමනට එක්වේ.කඳු නගින්නන් එම ප්‍රදේශයට යාමට වඩාත්ම පහසු  ක්‍රමය නම් මුහුදු මට්ටමේ සිට අඩි 9,383 ක් ඉහළින් පිහිටි හිමාලයානු කුඩා ජනාවාසයට පියාසර කිරීමයි.මෙම ප්‍රදේශයට යාමට විවිධ විකල්ප ක්‍රම තිබුනද ඒවා අතිරේක දින කිහිපයක් වැයවන ක්‍රම බැවින් බොහෝදෙනා මෙම ත්‍රාසයජනක අත්දැකීම ලබාගැනීමට පෙළබේ.

සෑම දිනකම කත්මන්ඩු හා ලුක්ලා අතර ගුවන් ගමන් කිහිපයක් සිදුකරන අතර විනාඩි 25-30 ක පියාසර කාලයක් ගතවේ.

අනතුරුදායක ගුවන් තොටුපල ලැයිස්තුවේ පිහිටි බොහෝ ගුවන් තොටුපොළවල් යුරෝපයේ ඇති අතර විවිධ හේතුන් නිසා  ගුවන් නියමුවන්ට අභියෝගයක්වේ.බොහෝ ග්‍රීක දූපත් වල ඇති  කෙටි ධාවන පථ,සුළං කපොලුවල පිහිටා තිබීම,කදුකර ප්‍රදේශවල පිහිටීම ගුවන් යානා ගොඩබැස්සවීමට හා පිටත්වීමට ගුවන් නියමුවන් හට විශේෂ අවදානයක් යොමුකළ යුතුවේ.ගුවන් යානයක් හැසිරවීමේදී අඩු වායු පීඩනය ඇති කරන බලපෑම හේතුවෙන් ඉහළ උන්නතාංශයක පිහිටි ගුවන් තොටුපල අනතුරුදායකයි. ලුක්ලා ගුවන් තොටුපලෙහි ඉහත සදහන් කරනලද සියලුම අංග ඇතුලත්වේ මේ අනුව ලුක්ලා කෙතරම් අනතුරුදායකද යන්න මනාවට පැහැදිලිවේ. ඉහලම උන්නතාංශයකින්  පිහිටි ගුවන් තොටුපල ලෙස චීනයේ Daocheng Yading ගුවන් තොටුපොල හැදින්වෙන අතර ලුක්ලා ද ඉහල උන්නතාංශයක පිහිටයි.

ලුක්ලා ගුවන් පථය

ගුවන් තොටුපල සෑම පැත්තකින්ම තද කඳු සහිත භූමි ප්‍රදේශයකින් වටවී ඇත. කෙටි ධාවන පථයක්  පිහිටා ඇති අතර එක් කෙලවරක තාප්පයක් ද අනෙක් කෙලවරේ පහළ නිම්නයකට තියුණු බෑවුමක් ද ඇත.

මෙම උන්නතාංශවල වායු ඝනත්වය මුහුදු මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අඩු වන අතර එමඟින් ගුවන් යානා එන්ජින් මඟින් උත්පාදනය කරන බලයේ ප්‍රමාණයට අහිතකර ලෙස බලපායි. අඩු වාත ප්‍රතිරෝධය ද යානය මන්දගාමී වීම වඩාත් අභියෝගාත්මක කරයි. ඉහළ උන්නතාංශයකදී, ධාවන පථය දිගු වන තරමට වඩා හොඳය.

ගුවන් තොටුපොළ වටා ඇති කදු පන්තිය

අවාසනාවන්ත ලෙස ලූක්ලා හි ගොඩබෑමේ නියමුවන් සඳහා ගුවන් තොටුපල ධාවන පථය  අඩි 1,729 ක් දිගය. ලොව බොහෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලවල ධාවන පථ අඩි 10,000 ට වඩා දිගය. ලුක්ලාගේ ධාවන පථය කෙතරම් කෙටි ද යත්, නියමිත වේලාවට වේගය අඩු කර ගැනීමට ගුවන් යානා වලට ආධාර කිරීම සඳහා 12% ක පමණ අනුක්‍රමණයකින් ඉහළට බෑවුම් වේ. මෙම බොහෝ  කරුණු සැලකිල්ලට ගෙන හෙලිකොප්ටර් යානා සහ කුඩා ස්ථාවර පියාපත් සහිත ගුවන් යානා පමණක් ගොඩ බැසීමට අවසර ලබාදී ඇත .

 

හිමාලයේ කාලගුණය ඉතා අනපේක්ෂිත ය. හදිසි මීදුම, මීදුම, වැසි කුණාටු හෝ හිම සෑම විටම ඇති  විය හැකි ස්වභාවික වෙනස්කම්වේ . කෙටි දුර සහ කෙටි පියාසැරි කාලය තිබුනත් , ලූක්ලාහි කාලගුණය බොහෝ විට කත්මණ්ඩු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි ගුවන් ගමන අතරතුර සිදුවන වෙනස්කම් හේතුකොටගෙන ගුවන් යානා ආපසු හැරී කත්මණ්ඩු වෙත පැමිණේ. දහවල් කාලයේදී වලාකුළු පවතින බැවින් බොහෝ ගුවන් ගමන් උදැසන කාලයේදී සිදුකරයි.කාලගුණික හේතුන් මත ලූක්ලාගෙන් අවලංගු කිරීම් සාමාන්‍ය දෙයකි.

 

මෙවැනි තත්ත්ව යටතේ ලුක්ලාහිදී ගුවන් අනතුරු සුලබව සිදුවේ වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වූයේ 2008 වර්ෂයේදී යෙටි එයාර්ලයින්ස් 103 දරණ ගුවන් යානය ධාවනය  පථය ආරම්භ  වීමට අඩි කිහිපයක් පහළින් කන්දට කඩා වැටීමයි. අවසාන ප්‍රවේශයේදී දැඩි මීදුමෙන් නියමුවාට දෘශ්‍ය බාධාවන් ඇතිවීම  මෙයට හේතුවී ඇත. මගීන් 16 දෙනාම සහ කාර්ය මණ්ඩලයේ තිදෙනාගෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. දිවි ගලවා ගත්තේ ගුවන් නියමුවා පමණි.

 

මෙහි ගුවන් අනතුරු අවම කිරීමට නේපාලයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය දැන් නියමුවන් සඳහා උසස් ප්‍රමිති සකස් කර ඇත. ලුක්ලා වෙත ගොඩබෑමට නියමුවන් කෙටි ගුවන් ගත කිරීම් හා ගොඩබෑමේ ගුවන් ගමන් 100 ක් සම්පූර්ණ කර තිබිය යුතු අතර අවම වශයෙන් වසරක නේපාලයේ එවැනි පළපුරුද්දක් තිබිය යුතු අතර සහතික ලත් උපදේශකයෙකු සමඟ ලුක්ලා වෙත ගුවන් ගමන් දහයක් සාර්ථකව නිම කර තිබිය යුතුය.මිට අමතරව  ගුවන් පථය තවත් අඩි 100ක් දිගු කිරීමට හා හෙලිපෑඩ් එකක් ඉදිකිරීම සදහා අධ්‍යයනයක් සිදු වෙමින් පවතී.

Leave a Comment