උතුම් මිත්‍රත්වය – කොටස 05

මෙතෙක් කථාව…

(දුප්පත්කමේ හිනිපෙත්තේ හිටපු මාලතීට, තාත්තා කියලා හිතාගෙන හිටපු මාමාගෙන් අනාථ වෙන්න සිදු වුනත්, උතුම් අදහස් තිබුණු ශාන්තී නම් අපූරු යෙහෙළියගේ ආදර්ශයන් මගින් නැවත ජීවිතය යථාවත් කර ගැනීමට අවස්ථාව ලැබුණා. නමුත්, නිශාන්ත නම් නවක පෙම්වතාගේ රැවටිලිකාර ආදරය හමුවේ ශාන්තිගේ මිත්‍රත්වය පළුදු වුණා. නිශාන්තගේ පිටුපෑමත් ඔහුගෙන් ලද දරු ගැබත් හිතේ සහ කුසේ දරාගෙන සිටින මාලතීගේ අඳුරු වූ දිවි අහසට පුන් සඳ පායන දවසක් උදා වේවි ද…?)

හතරවැනි කොටසට – https://thearticleteam.com/home/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83-04/

කොටස 05

මාමා එක්ක නිදා ගන්න කලිනුත් මම මහ ගෑනියෙක් වෙලා හිටපු බවත්, දැන් ළමයි හදා ගෙන හැමෝගෙම මුහුණුවල දැලිත් ගාලා කියලා මාමා මට දොස් කිව්වා. මුළු ගම වටේම අවුස්සලා, අපිත් එක්ක ඉන්න එක එයාට අවනම්බුයි කියලා, ගෑනියෙකුත් අරන් අත්තට අයිති ගමේ කෙළවර වහලා දාලා තිබුණු ගේක පදිංචියට ගියා. ආයේ පැත්ත පළාතේ ආවේ නෑ.

ඉතින් ඒ වගේ අමිහිරි මතක ගොඩක් හිතේ දරාගෙන තවත් දවස් කිහිපයක් ගෙවිල ගියා. දරු ගැබ පුපුරන තරමට මහත් වෙලා තිබුණා. දොස්තර මහත්තයා කිව්වා ” අම්මට ලැබෙන්න ඉන්නේ ඉතාම නිරෝගී දරුවෙක්, ලැබුනට පස්සේත් හොඳින් රැක බලා ගන්න ” කියලා. එහෙම අහද්දී හිතට සතුටක් දැනුනත්, දරුවා ජීවත් කරවන්නෙ කොහොමද කියලා හිතලා, මම හිතින් අඬපු වාර අනන්තයි.

ඕනම කළු වලාකුලක රිදී රේඛාවක් තියෙනවා වගේ මගේ අඳුරු උනු දිවි අහසට පුන්සඳ පෑයුව දවස උදා වුණේ දරුවා ලැබෙන්න අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු කාලයක් ඉතිරිව තියෙද්දි. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණු එදා පිම්බර බ්‍රහස්පතින්දා දවසක්. වෙලාව උදේ අටට විතර ඇති. අම්මා මාව කූද්දලා, ” මාලි නැගිටපං. අන්න කිරිබත් ඇති කුස්සියේ කාපන්. මම විගහට ඉහළ වෙලට ගිහින් එන්නම්. අද එහෙ කිරි උතුරනවා “. අම්මා ගිහින් පැය භාගයකට විතර පස්සේ මං අමාරුවෙන් නැගිට ගත්තා. ඊට පස්සේ පස්සෙ කුස්සියට ගිහින්, කිරි බත් පිඟානම කෑවා ඇටයක් ඉතිරි නොවෙන්න.

කිරිබත් කාපු නිසාද කොහෙද නිදිමතක් ආවත් මම ඇඳට නොගිහින් ඉස්තෝප්පුවේ තිබ්බ අත්තාගේ පරණ හාන්සි පුටුවේ ටිකක් ඇල වුණේ හුලං වදින්නත් එක්ක. යන්තම් ඇස් පියවීගෙන එනකොටම මන් දැක්කා ඉස්සරහ කඩුල්ල ළඟ මොකද්ද හෙල්ලෙනවා. මම හොඳට ඇහැ ඇරලා බැලුවා. කහ සිවුරක්! සිල් මෑණි නමක් පිඬුසිඟා වැඩලා. මම හනික නැගිට ගෙන කුස්සියට ගියේ ඉතුරු කිරිබත් තියේද බලන්න.

නෑබිලියට අම්මා අයින් කරලා තිබුන කිරිබත් කැට දැක්කමයි මට මතක් වුණේ, ගඟේ ආරාමේ මෑණිවරු මේ ඉසව්ව පිඬුසිඟා වඩින්නෙ ගුරුදාටනෙ කියලා. වෙනදට අම්මා දන් පිළිගන්නවා. මං ලැජ්ජාවට එළි බහින්න නෑ. ඒත් දරුව ලැබෙන්න ටික දවසක් නිසා මගේ අතින්ම දන් පිළිගන්වන්න ලැබෙන එකත් හොඳයි. මං හිතින් එහෙම හිතුවා.

කිරිබත් නෑබිලිය අරන් මම ස්තෝප්පුවට යනකොට සිල්මෑණියෝ මිදුල කොනටම වැඩලා. මම කිරිබත් කැට උන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්වල පහත් වුනේ වැඳ නමස්කාර කරන්න. කිරිගරුඩ වගේ උන් වහන්සේගේ දෙපා දැක්කම මට හිතුනා ඒ පින්කාර මුහුණ ටිකක් බලන්න. ඉතින් මම පාද වන්දනාවෙන් පස්සේ නැගිට්ටේ උන්වහන්සේගේ මුහුණ බලාන.

බැලුවා නෙමෙයි මාව ගැස්සුනා. මට කර කියාගන්න දෙයක් තිබුන් නෑ. උගුර කට වේලුනා. අනිමිස ලෝචනයෙන් පුද ලද, ජය ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම වූ සංඝමිත්තා මහ තෙරණි වහන්සේ වාගේ ගජමුතු පැහැ ගැන්වුණු උන්වහන්සේ ඇයද ? කලක් මගේ ජීවිතේ නිවැරදි කළ මේ ඇයමද ? මගේ යෙහෙළිය ශාන්ති ද මේ ? ” ශාන්ති..! ” මට කෑගැහුණා. ” මාලිට මෙහෙම ඉන්න අමාරුයි. අපි යමු ඉස්තෝප්පුවට ” මෑණියෝ මාව අතින් අල්ලලා ඉස්තෝප්පුවට එක්කන් ගියා. මම එහෙමම ගෙට ගිහින් සුදු රෙද්දක් ගෙනත් ඇදි පුටුවට දැම්මා. එතන තිබුන පොඩි බංකුවේ මම ඉඳ ගත්තා. ගෙට වැඩිය ශ්‍රමණයාට ආවතේව කරා මිසක්, මගේ උගුර කට හිර උනු එක එහෙමම තිබ්බා.

” මාලි පුදුම උනාද බය උනාද කියල නම් මන් දන්නෑ ඒත් මම දැන් ශාන්ති නෙමෙයි. ශාන්ති පොඩි මැණියො..! “.

“සමාවෙන්න මෑණියෝ! මට පුදුම හිතුනා. ඔබ වහන්සේ මෙහෙම දකින්න ලැබෙයි කියලා මම කියලා, මම කවදාවත් හිතුවේ නෑ” මම බැගෑපත්ව කිව්වා.

“මේ ලෝකෙ අපි හිතන දේවල්ම විතරක් වෙනවා නම්, කොච්චර දෙයක්ද මාලි” මෑණියෝ සංවරව පැවසුවා. “මෑණියෙනි, මට මෙි කිසිම දෙයක් හිතා ගන්න බැහැ!!” මං හිමින් කිව්වා. “මට මාලි ගැන ආරංචි වුණේ ගිය සතියේ. එහෙම නොවුන නම් මං මෙහේ එන්නේ, මම ගම වැඩිය මුල්ම දවසේ” මෑණියෝ දයාබරව පැවසුවා.

ශාන්තිව මං එළව ගත්ත දවසෙන් පස්සේ මං එයා ගැන හොයන්නවත් ගියේ නෑ. පස්සෙ කාලෙක ආරංචි වුණා, පවුල පිටින් ගමෙන් ගියා කියලා. මං එතකොට හිතුවේ ‘යන්තම් ඇති ගමනුත් ගියානෙ’ කියලා. පවුල පිටින් කිව්වට ශාන්තිගේ අත්තම්මා නැති වුණාට පස්සේ ගෙදර හිටියේ පුංචි අම්මයි ශාන්තීයි විතරයි. ආරක්ෂාවට වගේ පුංචි අම්මගෙ හොර මිනිහ ආ ගියා කියලා ඒ කාලේ ශාන්ති කිව්වා.

මගේ පිටු පෑමට ටික කලකට පස්සේ තමයි ශාන්ති ගිහි ජීවිතයේ අත ඇරලා ගිහින් තිබ්බේ. ඒත්, ඒ අදහස බහ තෝරන අවදියේ ඉඳන් හිතේ තිබුණත් අත්තම්මා නැති වෙනකම් ගිහි ගෙය හැර නොයන්න තීරණය කරලා තිබුණලු. ඉතින්, ගිහිගේ අතෑරලා ආරාමයට ගියපු ශාන්තිට මහනදම ආරම්භ කරන්න වැඩි දවසක් ගිහින් නෑ. මොකද එයාගෙ ජීවිතේ ගොඩක් ධර්මානුකූලයි. අාරාමේ දහම් පාසලේත් ඉගැන්නුවා. දහම් දැනුම, ආගමික වතාවත්, බෞද්ධවත් පිළිවෙත් ශාන්ති හොඳින් දැන උන්නා. ඉතින් වැඩි කල් යවන් නැතිවම පුළුවන් වුණාලු මහණදම ආරම්භ කරන්න, ලොකු මෑණියන් වහන්සේගේ අවසරයත් සමගම.

මහනදමේ මුල්ම කාලෙම ශාන්ති මෑණියෝට අවස්ථාවක් ලැබුණාලු බුරුමෙට යන්න. එහෙ ගිහින් තවත් බෞද්ධාගම ගැන ඉගෙන ගන්න. ඒ වැඩසටහන ඉවර වෙලා ආයෙත් ගමට ආපහු වැඩලා තිබුණේ, ඒ ගෙවුන මාසේ මුල් දවස්වල. එහෙම ඉන්නකොට තමයි මගේයි ශාන්තිගේයි ආශ්‍රය ගැන දැන උන්න අපේ ඉස්කෝලේ යාලුවෙක් මං ගැන ශාන්ති මෑණියන්ට කියල තිබුනෙ.

“නිශාන්ත කියන්නේ ඒ තරම් හොඳ කෙනෙක් නොවන බව දැනන් හිටියට, මේ තරම් නරක කෙනෙක් වග නම් මම දැන ගෙන හිටියේ නෑ මාලි” මෑණියෝ අතීත ආවර්ජනය කරා. ” එහෙම දැන උන්නා නම් මෙච්චර දෙයක් වෙන්න මම ඉඩ දෙන්නේ නෑ “. “ගෑනිව එපා කියමු ඒත් ලැබෙන්න ඉන්න දරුවා ගැන වත් නොහිතන්න තරම් පව් කාරයෙක් වෙන්නෙ කොහොමද? නිශාන්ත හොඳ මිනිහෙක් නම්” මෑණියෝ බිම බලා ගෙන පැවසුවා.

මට එවෙලෙ දැනුන ලැජ්ජාව කෙනෙක්ට කියන්න බැරි තරම්. මං ඔළුව ඉස්සුවේ නෑ. ඒ මදිවට මට හොඳටම ඇඬුණා. “මාලි මේ ඉන්න තත්වෙත් එක්ක ඔය තරම් හිතට බර ගන්න එපා, ජීවිතේ වරදින්න පුලුවන් ඒත් හදාගන්නත් පුළුවන්”.

“තව මොනවා හදාගන්න මෑණියෝ, පිරිමි දෙන්නෙක්ට අඹු කම් කරලා තාත්තෙක් නැති දරුවෙක් හදා ගත්තු අවලං ගෑනියෙක් මම! ” මම මටම දෙස් දෙවොල් තියා ගත්තා. “ජීවිතේ අපි වැරදි කරනවා, පව් කරනවා දැන හෝ නොදැන නමුත් ඒවා අපිට නිවැරදි කරගන්න පුලුවන් මාලි ” මෑණියෝ සැනසිලි ස්වරයෙන් පැවසුවා.

මතු සබැඳි… (_විභූ_)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *